Skip to main content

Posts

රහස් දොර

ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual

අහස

කළු වලාකුළු අපෙන් සඟවනවා ඒ තමයි පැහැදිලි නිල් අහස, මම ඒ කළුවර අහස දිහා බලලා  දුක් වුනේ නෑ.. තව ටිකකින්  අකුණු ගහල වහීවි  වලාකුළු බර අහස  දිහා බලලා දුක් නොවන්න  උන්වහන්සේ  මට උගන්වලා තිබුණා  එදාම හවස  දරාගෙන ඉන්නම බැරිව  පැයගානක් වලාකුළු  වැස්ස වෙලා පොළාවට  වැටෙන්න පටන් ගත්තා,  මහ වැස්සෙන් පස්සේ  නිල් අහස දිහා බලල  මම සතුටු වුනෙත් නෑ.. තව ටිකකින්  කළු වලාකුළු වලින්  මුළු අහසම  අඳුරු වේවි.. උන්වහන්සේ මට කියල තිබුණා.. ඉන්පස්සේ  මම අහස දිහා බැලුව විතරයි.  අයිතිකරගන්න ගියේ නෑ... ධම්මධර

අවසානය

අවසානයට කලින් නවත්තන්න වුණොත්, නවත්තන්නම සිද්ධ වුණ තැන  අවසානය කියල  පිළිගන්න වෙනවා  ඒ කියන්නේ  යමක් පටන් ගන්නකොට  එහි අවසානයක සිතුවම  අපේ හිත්වල ඇඳිලා ඉවරයි  හිතේ ඇඳපු සිතුවම  කොලේකට ගන්න ගියාම   පැන්සලේ උල කැඩෙන්න පුළුවන්  ඕනවට වඩා මකන්න ගියාම  තියන එකම කොලේ හම ගිහින්  ඉරිලා යන්නත් පුළුවන්.. කලබලයක් නැතුව අඳින්න  සංසුන්ව අඳින්න.. සිහි ඇතිව මකන්න  ආයේ ඉවසීමෙන් අඳින්න  කොලේ ඉරෙන්න කලින්  ගහන අවසන් පැන්සල් ඉර  මේක වෙන්න පුළුවන් බව  හිතට කියල තියන්න.. එතකොට හිත කියයි  මහා ලොකු චිත්‍ර ඕන නෑ  හදිසියක් නැතිව පැන්සල් ඉර  ගහපං කියල. එතකොට,  ඒක තමයි අවසාන සිතුවම.. ඒ තමයි, කළුවර අහසට හඳ නැඟුණ  "මොහොත" විවේකීව ජීවිතය දකින දවස    හදිස්සියේ අපි අවසානයට දුවනවා  අවසානය මග නතරවෙලා ඉන්නවා  ඒක අවසානය කියල හිත පිළිගන්න කැමති නැ. ඉතිං... ආයේ ඇවිත් ,  අපි අවසානයට  හදිස්සියේ දුවනවා... ධම්මධර

දුර්වලතාවය

කිසිවෙක් ඔබට සාප නොකරයි සාපය ඔබ වෙත පැමිණෙන්නේ ඔබේ උදව් ඇතිවය... යමක් මිලට ගැනීම සඳහා වෙළඳ පොළට යන ඔබට හිතකර අහිතකර දෑ අතර තෝරා ගැනීමක් සිදු කිරීම සඳහා පූර්ණ අයිතිය ඔබ සතුය.. අහිතකර දෑ මිලට ගැනීම ඔබේ නොදැනුවත්කම හෝ තමන් නිවැරදි යයි යන පූර්ව නිගමනය නිසා සිදු වන්නකි.. ඔබේ නොදැනුවත්කම නිසා ඔබ නිෂ්පාදකයින්ගේ දුර්වලතාවය මිලටගෙන ඇත.. එසේම යමෙක් ඔබට සාප කරයිනම් හෝ වෛර කරයි නම් හෝ කියා ඔබට වේදනා දැනේ නම් ඔබ, ඔබේ නොදැනුවත්කම නිසා ඔවුන්ගේ දුර්වලතාවය මිලට ගෙන ඇත ධම්මධර

දරුණු යතාර්ථය..

ඔබව මුසපත් කරන හැඟුම්බර, ලයාන්විත මිහිරි ලෝකය කෙලෙස නම් මායාවක් වන්නද? නමුත්, ඔබව සන්තර්පණය කළ දහසක් තෙපුල් අවසානයේ දෙඩුම් නැති ගොළු වීම නම් වූ යතාර්ථය වචන වලින් ඔබ්බෙහි වූ යමක් ඔබේ අධ්‍යාත්මයට එක්කරයි.. අපරභාගයෙහි රත් පැහැය අඩු වැඩියෙන් මේකුළක තැවරුණ රිවිකිරණ ගැහෙන රළ මත මුසුවෙමින් මවන සුසංයෝගය දුරක වන තාක් අපූර්ව කවියකි අමිල සිතුවමකි.. ලං නොවී ඈත සිට බැඳුනු මායාවට ලංවෙලා බලන සඳ කවි සිංදු හැඟුම්බර තෙපුල් නැත, තත් සිඳී ගිය විණාව ඇත අන්ධකාරය වෙළාගත් නිහැඬියාව මැද... දිවයුරු ළඟ දැවෙන ගින්නෙහි මෙන්ම, දිය යට සැඟව ඇති දරුණු යථාර්තය ඔබට තේරුම් කරන්නේ හිතක් පපුවක් තෙතමනයක් නැති ධර්මිෂ්ඨ මිනිසෙකි.. ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න භක්තියෙන් අදහන්න ඔහු.. ඔබ ප්‍රර්ථනා කළ සැනසීම ඔබේ පා මුළට රැගෙන ඒවි.. එවිට, ඔබට හිමි වූ සියල්ල ඔබ ආදරය කළ හිරුගේ උණුසුමින් දැවෙන අතර ඔබ කවි ලිවූ දිය රළ අතර සැඟව යනු ඇත. ධම්මධර

සජීවී ගුරුවරයා...

සජිවී මිනිසෙකු පසුකර අජීවී පිළිමයක් කරා ඇදෙන සුවහසක් බැතිමතුන්ගේ දෑතෙහි රැඳුණු සෑම මලකම සැඟවුණු ප්‍රාර්තනා සහ යාතිකාවන් දෙස මදහසින් බලන ගල් පිලිමය උන්ට දෙන නිහඬ අරුතෙහි හඬ අවදි කරන පණැති මිනිසා ඔබව, සැනසීම කරා යාත්‍රා කරවන්නේ, හිමිවීම් තුළ සැණහුනු මිනිසුන් අහිමිවීම් තුළ රිදවමිනි, හමුවීම් තුළ සිනහ වූ මිනිසුන් සමුගැනීම් තුළ හඬවමිනි... සුවය තුළ මිහිර වින්දවුන් හට වේදනාවේ අමිහිරද කියා දෙමින් ය.. එක් පසෙක සැනසීම පමණක්ම ජීවිතය ලෙස දකින මිනිසුන්ට අනෙක් පසද පෙන්වන්නට ගුරුවරයා සෑම මොහොතකම ඔබේ ප්‍රතිවිරුද්ධ අන්තයෙහි වැඩ සිටියි.. මේ ජීවිතයෙහි සැබෑව දකිනු වස් ගුරුවරයා කෙරේ ඇතිකරගත් භක්තිය නිසාවෙන්ම හමුවීම සහ සමුගැනීම යන දෙපසම දැක ඇතිකර ගත් මැදහත් සිත හා එක් වූ ගුරු භක්තිය.. සංසාර සාගරය තරණය උදෙසා මග පෙන්වයි.. ධම්මධර

සියළු යහපත

මනස අවධි නොකරගත් නිසාවෙන්, ඉවරයක් නැති, මේ සංසාර ගමන තුළ හැම මිනිසෙකුටම ජීවිතය ගැන දෙතුන් පාරක් සිතන්න, අවස්ථාව උදා කරනවා.. බැඳීම් වලින් අන්ධකාර වූ ජීවිතය සමඟින්, ආගම නමැති සංස්කෘතික සීමාවට කොටුවී සිටින මිනිසුන්ගේ හදවතට කතාකරන අසංස්කෘතික බුද්ධ වචනය මනස අවධි කරගැනීම සඳහා උත්තේජනය සපයනවා.. දුර්වලතාවයන් නිසාම සිහිනයක් තුළ අතරමං වූ සත්වයා අවධි වන්නේ සිහිනය තුළ වන ගඳ සුවඳ, කළු සුදු සහ එළිය අඳුර ලෙස ඔබට පෙනෙන, ඇසෙන මායාව ප්‍රත්‍යක්ෂ වූ විටයි.. ලාභ කීර්ති ප්‍රසංසා වෙනුවෙන් මන බඳින පුහුදුන් සිතට සංයෝගයෙහි අපරිපූර්ණ අද්දැකීම පරිපූර්ණ එකක් කරමින් විසංයෝගය තුළ සඟවාගත් ප්‍රත්‍යක්ෂය රැගෙන එන ගුරුවරයා ඔබට සියලු යහපත උදාකරන්නේය... ධම්මධර

ගිම්හානෙන් වසන්තෙට..

තුරුල් වෙලා හිටියට එක පොදියට, බය දැනුන විගස දුවන්නේ තනියම, අතරමඟ හැරෙන්නේ පෙර මතකෙට, මිනිස්සු මියැදෙන්නේ බැඳීම් ගිලගෙන ඇවිලෙන්නේ ගින්දර හිත්වල තනියම, දරන්න බැරි නිසාම විසංයෝගය සිහිනයක් නිසාම මවාන විඳින්න හදන, ඔබ මවිත වේවි මහපොළවට පය තිබ්බාම.. අවංකව, ගැලවීම අවැසි සිතකට අකමැතිම දේ දුටුවම, අකමැතිම දේ ඇසුවම, දොරටුව විවෘතය ගිම්හානෙන් වසන්තයට.. ධම්මධර